යන ගමන දුෂ්කරය කියා ඇය අතර මඟ නැවතුණේ නැත. තොරතුරු තාක්ෂණය අපේ ගම්වලට අලුත්ම අත්දැකීමක් වන විට ඇය එයට පුරුදු වූවාය. ඒ පිළිබඳව අලුත් දේ ඉගෙන ගත්තාය. කිසිවක් නොදන්නා ගම්මුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක දැනුම ලබා දුන්නාය.
වරෙක විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙසින් ද තවත් වරෙක ඉ-ස්වාභිමානි ආදි සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය. ගමේ ගොවියන්ට වෙළෙඳුන්ට, දඹුල්ලේ ඇඹිලිපිටියේ එළවළු, කෘෂි නිෂ්පාදනවල මිල ගණන් ලබා ගන්නා හැටි ඉගැන්නුවාය.
අවසානයේ ඇය ග්‍රාමීය තොරතුරු තාක්ෂණය පිළිබඳව පසුගියදා ස්පාඤ්ඤයේ ග්‍රැනාඩා නුවරදී මුළු ලොවම පරදවා හොඳම සම්මානය හිමිකර ගත්තාය. ආත්ම ශක්තියත් සමග ගුවන් යානයට නැඟුණ දීපිකා මුළු ලෝකයම රැගෙන ගුවන්යානයෙන් බැස්සාය.
”මම අන්තිම මොහොත වනතුරුම හිතුවේ නැහැ මට ඒ අවස්ථාවට සහභාගි වෙන්න ලැබේවි කියලා. උත්සවය පැවැත්වෙන දවසට කලින් දවසේ හැන්දෑවේ හතරට විතර තමයි මගෙ අතට ගුවන් ටිකට් පත ලැබුණේ. මම ස්පාඤ්ඤයේ ග්‍රැනඩා නුවරට ගියා.
ඒක මට හීනයක් වගේ ලෝකයේ රටවල් තිහක තරගකරුවන් හැටදෙනකු අතරින් මා පළමුවැනි තැන හිමිකරගත්තා කියන කොට මට පුදුම සතුටක් දැනුණේ. ඒත් ඒ සතුට බෙදා ගන්න අපේ රටේ කවුරුවත්ම හිටියේ නැහැ. ඊට දවස් දෙකකට පස්සේ මම මගේ මවුරටට ආවා. මට රට යන දවසේ මාව ගුවන් තොටුපළට ගිහින් ඇරලුවේ මගෙ මහත්තයා.
මං ආපහු එන දවසේ මාව එක්කගෙන යන්නත් මහත්තෙයා පාරේ බස් එකේ ගුවන් තොටුපළට ඇවිත් හිටියා. මට ඒ ගැන කිසිම කනගාටුවක් නැහැ. නමුත් අපේ මේ පුංචි රටට, මේ දුෂ්කර පළාතට මතක හිටින ජයග්‍රහණයක් හිමිකර දීමට ලැබීම මට සතුටක්.”
මෙහෙම කියන්නේ දීපිකා. ඇය සූරිය වැව ගුරුසිංහ ආරච්චිගේ දීපිකා ප්‍රියදර්ශනි. වයස අවුරුදු තිස්හතරයි. වෘත්තියෙන් ගුරුවරියක්. මේ කෙටි විස්තරයට වඩා ඇය පිළිබඳව කියන්නට ලොවක් වටින පුවතක් තිබේ. මේ මෙතෙක් ඇය කියූ කතාව හා ඈ පිළිබඳව නොකියූ කතාවයි.
බෙලිඅත්තේ මිරිස්වත්තේ උපන් දීපිකා පවුලේ වැඩිමලීය. ඇය මිරිස්වත්ත මුතුමාල කනිෂ්ඨ විද්‍යාලයේත්, අම්බල මහා විද්‍යාලයේත් පසුව පුවක් දණ්ඩාව ධර්මපාල විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවාය. දුක්මහන්සියෙන් පියා උපයන මුදලට වටිනාකමක් දීම ඇගේ පමණක් නොව නංගීගේ හා මල්ලිගේ ද අධිෂ්ඨානය වූහ.
”අපේ තාත්තා, රැකියාව හැටියට කළේ වඩුවැඩ. එයින් මහා ලොකු මුදලක් උපයන්න පුළුවන්කම තිබුණේ නැහැ. නමුත් තාත්තා අපිට කොහොම හරි ඉගැන්නුවා. තාත්තා දුක් විඳින හැටි දැක්කම අපිටත් හිතුණා කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා. මට මේ ගුරුපත්වීම ලැබුණේ මීට මාසයකට විතර පෙර. අපේ පවුලේ රජයේ රැකියාවක් කරන්නේ මම විතරයි. තාත්තා දැන් වයසයි. තාත්තට බයිපාස් සැත්කමක් කරන්න වෙලා තියෙනවා. මම ඉස්සර යොවුන් සේනාංකයේත් හිටියා.”
දීපිකා පවසන්නේ කනගාටුවෙනි.
බෙලිඅත්තේ ඉපිද බෙලිඅත්තේ හැදී වැඩුණු දීපිකා සූරියවැවට පදිංචියට ආවේ එක්දහස් නවසිය අනුනවය වසෙර්ය. ඇගේ ජීවිත ගමන වෙනස් වූයේ විවාහයත් සමඟය.
”ඒ කාලේ සූරියවැව මීටත් වඩා දුෂ්කරයි. මගෙ මහත්තයගේ නැන්දා කරුණාවති දවසක් ඇවිත් කිව්වා රැස්වීමකදි දැනගන්න ලැබුණ කියලා නැණසල කියලා දෙයක් පටන් ගන්නවා වසර පහක් ඇතුළත එය දියුණු කරන විදිහත් කියනවා කියලා.
නැන්දා කිව්ව තොරතුරු අනුව අපි අයි සී ටී ඒ මධ්‍යස්ථානයට ඉල්ලුම්පත්‍ර යොමු කළා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවකුත් හැදුවා. කොහොම හරි ඇවිත් තිබුණ ඉල්ලුම්පත්‍ර අතරින් මා තෝරා ගෙන ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. මා ඒ සඳහා තෝරා ගත්තා. ඒ වෙනකොට මම ටෙක් ශ්‍රී ලංකා ආයතනයෙන් පරිගණක පාඨමාලාවක් හදාරා හිටියේ.
මට පරිගණක පාඨමාලා හදාරන්න මුදල් තිබුණේ නැහැ. ඒක මට ටෙක් ශ්‍රී ලංකා එකෙන් ලැබුණ ශිෂ්‍යත්වයක්. අයි සී ටී ඒ ආයතනයෙන් මට පළමුවෙන්ම නැණසල පටන් ගන්න පරිගණක හතරක් ලැබුණා. අපි පටන් ගත්තා. ඒ කාලේ සූරියවැව මිනිස්සු තොරතුරු තාක්ෂණයට හුරුවෙලා හිටියේ නැහැ.
මමයි මහත්තයයි ලැප්ටොප් එකකුත් අරගෙන ග්‍රාමසේවා වසම් දහයක රට ගිය පවුල්වල සාමාජිකයෝ ඉන්න ගෙවල් වලට ගියා. ස්කයිප් වලින් ඔවුන්ගේ සාමාජිකයන්ට කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. මේවා කළේ මුල් කාලේ නොමිලේ. මට ඕනකම තිබුණේ තොරතුරු තාක්ෂණය පිළිබඳව මේ ගම්වල අය දැනුවත් කරන්න.
ලෝකය තනි යායක් වන විට නව තොරතුරු තාක්ෂණය සමඟ සියල්ලෝම කොත රම් දුර ඈත සිටිය ද හැම මොහොතකම ළඟින් සිටින්නා සේය. කොළඹ හා ඒ අවට, දියුණු ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය මිනිසුන් අතර භාවිතා වන විට දීපිකා සූරියවැව හා ඉන් අභ්‍යන්තර ගම්මානවලට තොරතුරු තාක්ෂණය රැගෙන ගියේය.
දෙදහස් පහ වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඇරඹී නැණසල අද ලෝකයෙන් ම පළමුතැනට තේරීපත් වී ඇත්තේය. විවිධ දුෂ්කරතා ඔස්සේ අභියෝගයන් ජය ගනිමින් ගමනක් පැමිණි දීපිකා නෙත ඇත්තේ තුටු කඳුළකි. ඇය තම ගම්මානය හා ඒ අවටට තොරතුරු තාක්ෂණය රැගෙන යාමට බොහෝ කැපවීම් කළාය.
නැණසලෙන් ඉටුකැරෙන්නේ ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හා පරිගණක තාක්ෂණය ලබාදීමයි.
මුල්කාලේ මිනිස්සු එන්න බයයි. ඔවුන් පරිගණක භාවිතයට බයයි. අපි ඒ බය ඔවුන් තුළින් නැති කෙරුවා. අපි ගැමියන් ළඟට ගියා. ඔවුන්ට පරිගණකයේ ඇති අපූරු බව කියා දුන්නා.
අද මේ ගම්වල අය කවුරු හරි තම පවුලේ අය විදේශ ගතවූවාට පසුව මාසයයි දෙකයි අපි ළඟට එන්නේ. ඊට පසුව ඔවුන් ලැප්ටොප් අරගන්නවා. අපි අපේ සේවාව බොහොමයක් ලබාදෙන්නේ නොමිලේ. ඒ වගේ ම අනෙක් සේවාවන් ඉතාම සහන මිලට ලබා දෙන්නේ. ICTA ආයතනය අප ව්‍යාපෘතියට මුදලක් ලබා දුන්නා.
අපි එයින් උපරිම පල ලබාගත්තා. නැණසල ව්‍යාපෘතිය ජංගම සේවාවක් ලෙස ගෙන යන්න අපි ලොරියක් මිලට ගත්තා. ගෙවීමේ ක්‍රමයට. ඉන්පසුව අපි ඒ ලොරියේ පරිගණක හතරක් යොදාගෙන ගමින් ගමට ගියා. ගම්වල අය අපත් සමඟ එකතු වුණා. ඔවුන් උපරිම ඵල නෙලා ගත්තා. අද මේ ගම්වල බොහෝ ගෙවල්වල පරිගණක තිබෙනවා. ඔවුන් මේ තාක්ෂණය දන්නවා. එය මට සතුටක්.
තම උපන්ගමේ නාමය මෙන් ම සූරියවැව නැණ සල ලෝකයටම ගෙන ගිය දීපිකා පවසන්නේ සතුටිනි. රටවල් තිහක් අතර තරගයෙන් අපේ පුංචි රටේ නාමය ලොවට ගෙන ගිය දීපිකා සූරියවැවට පමණක් නොව රටටම ආඩම්බරයකි.
ඇය දැන් මීරියගම මහා විද්‍යාලයේ ගුරුවරියකි. ඇය නැතිවිට නැණ සලේ කටයුතු බලා කියා ගන්නේ ඇගේ සැමියා චන්ද්‍රලාල් ජයසිංහ ය. දීපිකා ගමේ දරුවන්ට පරිගණක පුහුණුව මෙන් ම තොරතුරු තාක්ෂණය පිළිබඳව උගන්වන්නී ය. එහෙත් ඇයට ඒ සඳහා ඉඩකඩ නොමැති වීම අඩුවකි.
සූරියවැව නගරයේ කුඩා කඩ කෑල්ලක පවත්වාගෙන යන ඇගේ නැණසල කොයි මොහොතේ වැසී යාවි දැයි කියන්නට ඇය දන්නේත් නැත.
අපි කලින් ම හිටපු තැනින් අයින් වුණේ එතැන කුලිය රුපියල් පනස් දහසක් නිසා. මම මුදල් උපයනවාට වඩා කරන්නේ සේවාවක්. දැන් නගරයේ හැමතැනම වගේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන තියෙනවා. ඒත් අපි අපේ සේවා සපයන්නේ ඉතාම සහනදායි මිලකටයි.
පසුගිය කාලයේ අපි අලුත් තැනකට ආවා. ඒත් එතැනින් අපිට යන්න වෙලා තියෙන්නේ. ඒ ගොඩනැඟිල්ල අලුතෙන් හදන නිසා. මං දන්නෑ මීළඟ කොහෙට යන්න ද කියලා. අනේ අපිට කවුරු හරි දීර්ඝකාලීන බදු ක්‍රමයටවත් සූරියවැව නගරයෙන් ම මේ නැණසල පවත්වාගෙන යන්න ඉඩක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක්. ලෝකයෙන් ම ග්‍රාමීය තොරතුරු තාක්ෂණයෙන් පළමු තැනට පත් මේ දිරිය ගැහැනිය ඊට වඩා දෙයක් ඉල්ලන්නේ නැති වුව ද ඇයට මෙතෙක් සැබෑකර ගැනීමට නොහැකි වූ සිහිනයක් ගැන සිතමින් තැවෙන්නීය.
අපේ රටේ නැණ සල නිර්මාතෘ තමයි අපේ ජනාධිපතිතුමා.
එතුමා නිසයි අද මට මේ විදිහට ස්පාඤ්ඤයේ ග්‍රැනඩාවලදී ලෝකයේ හොඳම නැණසල විදිහට අපට සම්මානය හිමිකර ගැනීමට ලැබුණේ. එදා ඒ උත්සවයට මට යෑමට උදව් කළේ ටෙලිසෙන්ටර් පදනමයි. එහි ලංකාවේ සංවිධායක ලෙස කටයුතු කරන සෙව්වන්දි යාපා මහත්මිය තමයි මට ඒ ගමනට බෙහෙවින් සහයෝගය ලබා දුන්නේ.
සම්මානය අතට ගත් වෙලාවේ මට දැනුණේ ලෝකයම ලැබුණා වගේ සතුටක්. ඒක කියා නිමකරන්න බැහැ. මං ආසයි ඒ සම්මානයත් ජනාධිපතිතුමාගේ අතට ලබාදීල මගේ සතුට මගේ ගෞරවය එතුමාට පිරිනමන්න. ඒත් මට තවමත් ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. කොයි මොහොතේ හෝ ඒ සිහිනය සැබෑවේවි කියන බලාපොරොත්තුවෙන් මම බලා ඉන්නවා.
පියවරෙන් පියවර පැමිණ දිගු ගමනක් පැමිණ මේ දිරිය ගැහැනිය හෙට දවසේදී තවත් ජයග්‍රහණ ලබනු ඇත. ඒ ඈ තුළ ඇති ආත්ම විශ්වාසයේ බලයෙනි.
විශේෂ ස්තුතිය - අබේසිංහ හඳවලපිටිය, සූරියවැව ප්‍රාදේශීය ලේකම් එන්.කේ.එන්. පතිරණ, සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර, සම්බන්ධීකරණ නිලධාරි දුමින්ද කොඩිකාර යන මහත්වරැන්ට.
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - විමල් කරුණාතිලක