Thursday, July 11, 2013

විශ්ව සමුළු සම්මාන උළෙල මෙවර ශ්‍රී ලංකාවේ


ලොව විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල ලෙස සැලකෙන විශ්ව සමුළු සම්මාන උළෙල  (World Summit Award) ලබන  ඔක්තෝම්බර් මස  23 වැනිදා සිට 26 ‍දා තෙක් ශ්‍රී  ලංකාවේදී පැවැත්වේ.
සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23 දා නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වෙන අතර සම්මාන ප්‍රදානෝත්සවය 26 දා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ.
ලොව අග්‍රගණ්‍ය තොරතුරු තාක්ෂණ යෙදවුම් සඳහා සම්මාන පිරිනැමෙන මෙම උළෙල නියෝජනය කිරීමට සියයකකට අධික තොරතුරු තාක්ෂණ විද්වතුන් හා නිර්මාණවේදින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබන අතර මේ පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විශ්ව සමුළු සම්මාන උළෙලේ සභාපති මහාචාර්ය පීටර් ඒ බෲක් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
විශ්ව සමුළු සම්මාන උළෙල සඳහා වාර්ෂිකව රටවල් 60 කට අධික ප්‍රමාණයක තොරතුරු තාක්ෂණ නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරයි. එම නිර්මාණ ප්‍රථමයෙන් අදාළ රටවල ජාතික මට්ටමේ ඇගයීමකින් පසුව විශ්ව සමුළු සම්මාන උළෙල සඳහා තෝරා ගනු ලැබේ. 
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා.
ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ නිර්මාණකරුවන් මෙ උළෙල සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට නම් අනිවාර්යයෙන්ම අපේ රටේ ජාතික තරගාවලිය වන ඉ-ස්වාභීමානි තරඟාවලිය ජයග්‍රහණය කල යුතුයි. මේ ආකාරයෙන් සෑම ර‍ටකම ජාතික වශයෙන් පිලිගැනීමකට ලක්වන නිර්මාණ විශ්ව සමුළු තරඟාවලියට යොමු කෙරෙනවා. එහිදී සියලුම රටවල නිර්මාණ පුළුල් ලෙස විශ්ලේෂණය කරලා ජත්‍යන්තර සම්මාන පිරිනැමිම සිදු කෙරෙනවා. කෙටියෙන් කිව්වොත් සිනමා ක්ෂේත්‍රයේ උත්කර්ෂවත් සම්මාන උළෙල ඔස්කාර් සම්මාන උළෙල වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති වැදගත්ම සම්මාන උළෙලක් ලෙස WSA එහෙමත් නැත්නම් විශ්ව සමුළු සම්මාන උළෙල හඳුන්වන්න පුළුවන්. මෙම පසුබිම තුල ශ්‍රී ලංකාව වැනි රටකට මේ ජාත්‍යන්තර සම්මාන උළෙල පැවැත්වීම සඳහා අවස්ථාව ලැබීම ඉතා ගෞරවයක් ලෙස මම විශ්වාස කරනවා.

No comments:

Post a Comment